Tuesday, August 15, 2017

ග්‍රීක පාලකයා නාට්‍ය කලාවට හතුරු වීද? | Gamini Basnayake |
පුරුදු වෙමු
ෆේස්බුක් වැදගත් ලිපි කියවන්න.
හැමෝටම කියවන්න SHARE කරමු.
Like us 👉 Drama and Theater Unit - university of kelaniya
මෙතෙක් ග්‍රීක නාට්‍ය සම්බන්ධයෙන් පැවති මතවාදයක් වූයේ ග්‍රීකයේ නාට්‍ය කලාව වර්ධනය කිරීමෙහිලා ග්‍රීක පාලකයා උපකාර කළේ ය යන්නයි. මෙම ලිපියෙන් අපේක්ෂා කරන්නේ එකී මතයෙහි ඇති ව්‍යාජ ස්වරූපය පෙන්වා දීමට ය.
නාට්‍ය කලාව ලෝකයේ මුලින්ම ප්‍රභවය වන්නේ ග්‍රීක ශීෂ්ටාචාරයේ ය. ක්‍රි.පූ. 525 දී පමණ වන විට ග්‍රීක ශෝකාන්ත ඉතා උසස් මට්ටමකට පත් විය. විශේෂයෙන්ම ක්‍රි.පූ. පස්වන සියවසේ සිට ක්‍රි.පූ. හතරවන සියවස දක්වා කාලය තුළ ග්‍රීක ශෝකාන්තයේ ස්වර්ණමය යුගයයි. නාට්‍යවලට පමණක් නොව ග්‍රීක කලාව, සාහිත්‍යය, දර්ශනය, ගෘහනිර්මාණ ශිල්පය යනාදී බොහෝ ක්ෂේත්‍රයන්ට ප්‍රසිද්ධියක් ඉසිලූ ශිෂ්ටාචාරයකි, ග්‍රීසිය.
හැමෝටම කියවන්න SHARE කරමු.

Like ✔️ Share ✔️ Comment Your ideas
Stay with FB 🌐 Youtube 🌐 Instagram 🌐 Blog
Subscribe & Watch More Videos
https://www.youtube.com/user/academiplayers
Facebook | https://www.facebook.com/kelaniyadrama
Instagram | https://instagram.com/kelaniyastagedrama
👇👇වැඩි විස්තර පහලින්👇👇
Blog | http://academicplayers.blogspot.com



ග්‍රීක ශිෂ්ටාචාරය ඊට පෙර පැවති ශිෂ්ටාචාරයන්ට වඩා වැදගත් වන්නේ එය නූතන ශිෂ්ටාචාරයට බෙහෙවින් බලපෑම් කළ නිසාය. කි.පු. 2000 දී පමණ උතුරු දේශයෙන් ග්‍රීසියට ජන සංක්‍රමණයක් ඇති විය. එම සංක්‍රමණිකයෝ ඉන්දු යුරෝපීය භාෂාවක් කතා කළහ. එය ග්‍රීකයන්ගේ මුල් භාෂාව බවට පත් විය. ග්‍රීකය ගංගා නිම්නයක් නොවූවත් සෞම්‍ය දේශගුණයත් සාරවත් පසත් ගොවිතැනට හිතකර විය. ග්‍රීක වැසියෝ ධාන්‍ය වර්ග හා ඔලිව් සහ ප්‍රධාන වශයෙන් මිදි වගා කළහ. ක්‍රි.පූ. 1600 සිට ක්‍රි.පු. 1100 දක්වා කාලයේ ග්‍රීකයේ බලවතුන් වූයේ මයිසිනිවරුන් ය. සාම්ප්‍රදායික පුරාවෘතවලට අනුව සුළු ආසියාවේ, ට්‍රෝයි නගරය විනාශ වූයේ මේ කාලයේ දී ය. ක්‍රි.පු. 1100 සිට ක්‍රි.පූ. 750 දක්වා පෙලොපොනෙසුස් ආක්‍රමණ හේතුවෙන් ග්‍රීකය අන්ධකාර යුගයකට හසු විය. මෙයට හේතු වූයේ ආක්‍රමණිකයන් අඥානයින් වීමයි. ග්‍රීසියට බයිබලයක් නොවීය. ග්‍රීසියේ බයිබලය වූයේ හෝමර් නම් කවියාගේ ඉලියඩ් හා ඔඩිසි කෘති දෙකයි. ග්‍රීකය බහුදේවවාදී වූ අතර දෙවිවරු උසස් ලෙස වර්ණනා කර ඇත. එහෙත් "සෑම දෙයකම මිනුම් දණ්ඩ මිනිසා" යන පාරිශුද්ධ කියමනක් ග්‍රීකයන් අතර විය. ග්‍රීක දෙවිවරු අඩි 950ක් පමණ උස ඔලිම්පස් කන්දේ විසූ බව විශ්වාස කෙරිණ. දෙවිවරුන්ගේ උත්පත්තිය පිළිබඳව හෙයිඩඩ්ගේ hesiod's theogony හි සඳහන් කර ඇත.
ඉලියඩ් හා ඔඩිසි යන කෘති දෙකින් ම ට්‍රෝජන් සටන් හා ඉන් පසු අවධිය කෙරේ අවධානය යොමු කරයි. එහි මයිසිසි රජුවන අගමෙම්නොන් (Agamenon) හා ශ්‍රේෂ්ටතම ග්‍රීක රණකාමියා වූ ඇචිලිස් (Acheles) කළ අරගල ගැන කියයි. හෝමර්ගේ කෘතිවලින් එවක ග්‍රීක සමාජය ත්‍රිකෝණාකාර පිරිමීඩයකින් යුක්ත වූ බව කියවේ. බැසිලීස් (Basilies) නම් පාලක රදළ පැලැන්තියක් හා සාමාන්‍ය ගොවි ජනතාවක් ද වහල් ජනතාවක් ද ග්‍රීකයේ විය.
ග්‍රීක වහලා, ග්‍රීක සමාජ පසුබිමෙහි වැදගත් කාර්යය භාරයක් ඉටු කළේ ය. ග්‍රීක වහලා පිළිබඳව හැදෑරීමට පෙර වහලා බිහිවීමේ දේශපාලන ස්වභාවය හැදෑරිය යුතුය. දඩයම් යුගයේ මානවයාට කුසගින්නට මුහුණ දෙන්නට සිදුවිය. ඔවුන් රංචු බවට පත්වූයේ කුසගින්නට හා මරණයට ඇති බිය හේතුවනි. රංචුව ආරක්ෂාකාරී විය. ආහාර සපයා ගැනීම පහසු විය. මේ හේතුව නිසා ම රංචු කිහිපයක් එකතු වී ලේ නෑකම මත පදනම් වූ ගෝත්‍රික සමාජ පිහිටුවා ගනු ලැබීය. ආහාර හිඟවන විට වෙනත් ගෝත්‍ර ආක්‍රමණය කර ඒවායෙහි ආහාර හා ගැහැණුන් පැහැර ගනු ලැබීය. පිරිමින් ගෝත්‍රයට තවත් බරක් බැවින් ඔවුන්ව මරා දැමීය. දීර්ඝකාලීනව දඩයමෙන් ජීවත්වීම දුෂ්කර නිසා සතුන් හීලෑ කරගෙන එඬේර යුගය ආරම්භ කළේ ය. ගවපට්ටි විශාලවන විට එය බලා ගැනීම අපහසු කටයුත්තක් විය. එතැන් සිට ගෝත්‍ර සටන්වලින් අල්ලාගත් පිරිමි මරා නොදැමුණු අතර ඔවුන්ව අල්ලා වහලුන් ලෙස සේවයට යොදවා ගත්තේ ය. එඬේර නායකයාට නිදහසක් ලද හැකි වූයේ වහලා යොදා ගැනීමෙනි. වහල් ශ්‍රමයෙන් උපදින ලාභය හේතුවෙන් පෞද්ගලික දේපොළ ක්‍රමය බිහිවිය. වහල් සමාජය මුහුකුරා ගිය ස්ථානයක් ලෙස ග්‍රීසිය හැදින්විය හැකිය.
අනතුරුව නගර රාජ්‍ය ක්‍රමයක් බිහිවිය. ග්‍රීිකයේ සුප්‍රසිද්ධ ම නගරය වූ ඇතැන්සය වර්ග සැතපුම් 1432කින් යුක්ත විය. එහි සියයට හැත්තෑ තුනක් සිටියේ වහලුන් ය. දාර්ශනිකයෙකු වු ඇරිස්ටෝටල් 'වහලා යනු සචේතනික උපකරණයකි' යනුවෙන් පවසා වහල් ක්‍රමය අනුමත කළේ ය. ග්‍රීකය නාගරික හා ග්‍රාමීය ලෙස දෙකඩ විය. නගර වැසියෝ අත්කම් භාණ්ඩ සාදවා පිටරට යවා වෙළඳාම් කළහ. වැඩි ලාභය උදෙසා අසල්වැසි රටවල් අල්ලා ගනු ලැබීය. කොල්ලකනු ලැබූ ධනය හා ස්ත්‍රීන් ග්‍රීකයන්ගේ සුඛ විහරණය සඳහා යොදාගත් අතර වහලුන් ඔවුන්ගේ ගොවිපලවල්වල වැඩට යෙදවී ය.
"කෙත්වතුවලින් ගලා එන ධාන්‍යය ද මිදිවතුවලින් වැගිරෙන වයින් යුෂ ද විදේශවලින් අල්ලාගෙන එන සුරූපිනියන් සමඟ කාම සම්භෝගය විදිමින් කමින් බොමින් වැළද ගනිමින් ග්‍රීකයන් වැජඹුනේ විවේකයේ හා සැපයේ අගතැනය. ග්‍රීක ඕමර් ඛයියාම්ලාට ඉබේටම ගීත ගැයුණේ ය. ඔවුහු ගතට සැප දීම සඳහා රණකෙළි ව්‍යායාම හා ගෘංගාරයත්, හිතට සැප දීම සඳහා සෞන්දර්ය සංගීතය හා දර්ශනවේදය සොයා ගියේ ය. ග්‍රීකයන් පැමිණන අවධියේ දී වන ලැහැබින් වට වූ ග්‍රීසිය පුරාම කල් යාමේදී මිදිවතු, දර්ශනීය නගර, ප්‍රතිමා, පුස්තකාල, රඟමඩල ක්‍රමයෙන් ඉදිවන්නට විය."
(-සූරියප්පෙරුම, ජේ.ආර්.)




ග්‍රීකයේ මෙතරම් ඥානය, කලාව සෞන්දර්ය දියුණු වන්නට අවශ්‍ය විවේකය හා ධනය ලබා දුන්නේ ග්‍රීක වහලුන් විසිණි. නිදහස් ග්‍රීකයන් 90,000ක් ද වහලුන් 3,65,000ක් ද විදේශකයින් 45,000ක් ද විය. වහල් ක්‍රමයේ උච්චතම වර්ධනයේ දී ඇතැන්සය හා b>ස්පාටා අතර ඇති වූ යුද්ධයෙන් අවුරුදු 43කට පසු නගරවල් දෙකම දිළිඳු තත්ත්වයට පත්විය.
ග්‍රීක දේශපාලනය ආරම්භයේ දී දක්නට ලැබෙනුයේ රාජාණ්ඩු ක්‍රමයකි. ක්‍රි.පූ. 7 වන සියවස වන විට මේ රාජාණ්ඩු ක්‍රමය ව්‍යාකූලත්වයට පත්වී පාලනය ප්‍රභූන් හා වංශාධිපතියන් අතට පත් වූ බව පෙනේ. ක්‍රි.පූ. 500 පමණ වන විට එක් ප්‍රජා පීඩක පාලකයෙකු හෝ කිහිප දෙනෙක් බලය අල්ලාගෙන තිබුණි. ඉන් පසුව ජනතාව එම පාලනයන්ට විරුද්ධව කැරැළි ගසා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පිහිටුවා ගති. සෑම රාජ්‍යයකට ම පොදු වූ ලක්ෂණ පැවති අතර ඒ අතරින් සෑම රාජ්‍යයකම නගරය පිහිටියේ කඳු මුදුණේ ය. ඇක්‍රොපොලිස් (Acropolis) නමින් එය හැදින්වීය. මෙම පෞර රාජ්‍ය හැදින්වූයේ Polis යන ව්‍යවහාරයෙනි. පොලිස් නගරය කොටස් දෙකකින් යුක්ත විය. නාගරික ප්‍රදේශය කුඩා වූ අතර ගම්බද ප්‍රදේශය විශාල විය. ක්‍රි.පූ. 500න් පසු ගලින් ඉදි කරන ලද රැස්වීම් මන්දිර, නාට්‍ය ශාලා, සරඹ හල්, නාන කාමර නාගරික ප්‍රදේශයේ ඉදි විය. යුධමය වාතාවරණය නිසා ග්‍රීකයේ වර්ධනය වූයේ ප්‍රජාතන්ත්‍රවාදය නොව අඥාදායක පාලනයයි. ක්‍රි.පූ. 675 දී ආගෝසයෙහි ප්‍රථම අඥාදායක පාලකයා බිහිවූ අතර ක්‍රි.පූ. 6, 7 සියවස් වන විට ස්පාටාව හැර සෙසු සියලු රාජ්‍යයක ම ආඥාදායකත්වය ව්‍යාප්ත විය. වරප්‍රසාද ලාභින් හදුන්වනු ලැබුවේ 'සමානයන්' නමිනි, සමානයන්ගේ දරුවන් කුඩා කල දීම පරීක්ෂණයට ලක්කර අංගවිකල හා අයෝග්‍ය ළමයින් ආහාර නොදී මරා දමනු ලැබීය. ඇතැම් දරුවන් විකුණනු ලැබීය.
ග්‍රීකයේ පැවති නීති පද්ධතිය සකස් කරන ලද්දේ ඩ්‍රැකෝනියන් විසිනි. එහෙත් එම නීතියෙන් රාජ්‍ය පාලනය කළ නොහැකි නිසා ක්‍රි.පූ. 594 දී පමණ සොලොන් (Solon) නැමැත්තා නීතියට දරුණු සංශෝධන ඇති කළේ ය. එහෙත් ඔහුගේ සංශෝධන යහපත් අතට හේතු විය. නීතියට ගරු කරන සමාජයක් ඇති වීම, නිර්ධන පන්තිය නිදහස් වීම සිදුවිය. ක්‍රි.පූ. 508 දී පමණ ඇතැන්ස් දුප්පත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී බලය නොලැබුණි. එහෙත් ක්‍රි.පූ. 400 පමණ වනවිට සියලු දෙනාට ම ප්‍රජාතන්ත්‍රවාදී බලය විවර විය. ප්‍රධාන අඥා නිකුත් කරන ස්ථානය 'පාලක මඩුල්ල' රැස්වීම් විවෘත ස්ථානයක පැවත්වීය. ක්‍රි.පූ. 400දී පමණ වසරකට මෙවන් රැස්වීම් 40ක් පමණ පැවත්වූ බව කියවේ. අධිකරණ බලය සියල්ලන්ට ම හිමිවිය. පිරිමි දරුවකුට අවුරුදු 18න් පසු දෙමාපියන් විසින් ඔප්පු කළපසු පුරවැසි භාවය හිමිවන අතර කාන්තාවන් පුරවැසියන් ලෙස නොසැලකී ය. ඇතැන්ස්හි ස්ත්‍රී පක්ෂය වාණිජ්‍ය වශයෙන් හෝ දේශපාලන වශයෙන් එතරම් ප්‍රබල නොවීය. නූතන ප්‍රජාතන්ත්‍රවාදයට ග්‍රීකයෙන් උදාහරණ ගත්ත ද සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් එහි නොවීය. මානව අයිතිවාසිකම් සංකල්පය, සංක්‍රමණිකයන්ට පුරවැසි භාවය ලබාදීම, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, වහල් භාවය අහෝසි කිරීම, අධ්‍යාපනය වැනි ලක්ෂණ නොමැති විය. වහලා ග්‍රීක අධිරාජ්‍යයේ කෙසේ වැදගත් වූයේ ද යන්න පිළිබඳව මතභේද පවතී. ඇතැමෙක් වහල් ශ්‍රමය ග්‍රීක අධිරාජ්‍යයේ කොඳු නාරටිය ලෙස පෙන්වා දී තිබුණත් ග්‍රීක විශේෂඥයෙකු වූ කීටෝ දක්වන්නේ වහල් ශ්‍රමය ග්‍රීක ආර්ථීකයේ අත්‍යවශ්‍යය සාධකයක් නොවූ බවයි. ග්‍රීකය දීර්ඝකාලීනව යුධමය වාතාවරණයක් පැවති ශිෂ්ඨාචාරයකි. ඇතැන්සය කොරින්ත් හා ස්පාටා සමඟ කළ යුද්ධය ක්‍රි.පූ. 431 - 404 දක්වා ඇදී ගියේ ය. මෙම යුද්ධය අවසන් වූයේ ක්‍රි.පූ. 404 දී ස්පාටාවරුන්ට ඇතැන්ස් නගරය යටත් වීමෙන් පසුවයි.
මෙහිදී අපගේ අවධානයට යොමු කළ යුතු කරුණක් නම් ඇලෙක්සන්ඩර් දිව්‍යමය ප්‍රභවයක් ආරෝපනය කර ගැනීම ග්‍රීක ජනතාව විශ්වාස කිරීමයි. අනෙක් වැදගත් කරුණ නම් මෙම යුගය හෙලනිස්ටික් යුගය නමින් හැදින්වූ අතර එම කාලයේ දී විද්‍යාව, තාක්ෂණය, දර්ශනය, ගණිතය, දියුණු තලයකට පැතිර යාමයි. ඇතැන්සයේ කීර්තිය පැතිර යාමත් සමඟ කලාකරුවන් ඒ වෙත ඇදී ආවේ ය. ක්‍රි.පූ. 400 දී පමණ ක්‍රීඩාංගන නගර ශාලා, ඉදිකරනු ලැබීය. ක්‍රි.පූ. 447 දී ඇතීනා වෙනුවෙන් ඇක්‍රොපොලිස් කඳු මුදුනේ ඉදිකළ පාර්තෙනෝන් මන්දිරය ග්‍රීක වාස්තු විද්‍යාවේ ශ්‍රේෂ්ඨතම නිර්මාණයයි. ග්‍රීක කලා ශිල්පවල දක්නට ලැබෙන ඉතාම වැදගත් ලක්ෂණය වන්නේ විශ්වය තුළ වෙසෙන වටිනා ම සත්වයා මිනිසා බව පෙන්වීමයි.
ග්‍රීකය පෙර සඳහන් කළ අයුරින් සශ්‍රීකත්වයත් ප්‍රජාතන්ත්‍රවාදයත් පැවතුණු රාජ්‍යයකි. මතුපිට අර්ථය එය වුවත් එය අභ්‍යන්තරයේ වියවුල් ස්වභාවයක් පැවතුණි. ග්‍රීක රාජ්‍ය ආරම්භයේ සිට ම අවසානය දක්වා ම යුධමය වාතාවරණයක ගිලී තිබූ රාජ්‍යයකි. දේශපාලන ස්ථාවරත්වයක් තිබුණා යැයි සැළකුණ ද නොසිතූ නොපැතූ අයුරින් කැරැළි උද්ගත විය. පෞර රාජ්‍යන් අතර අරගල මෙන්ම රාජ්‍ය අභ්‍යන්තරයේ වහල් අරගල ද නිතර සිදුවිය. කුඩා පිරිමි දරුවන්ට කුඩා කාලයේ සිට යුධ පුහුණුව ලබා දිමට සිදුවූයේ එවන් වටපිටාවක ය. එබැවින් ග්‍රීක ජනයා යුධ මානසිකත්වයෙන් පිරුණු ජනතාවක් යැ'යි ප්‍රකාශ කිරීම යුක්ති සහගත ය. අනෙක් පසින් ගොඩනගා තිබූ ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයෙන් ග්‍රීකයට ආශිර්වාදයක් වූවා යැ'යි අනුමාන කළ නොහැකි ය. රටේ බහුතරයකට සෘජු ප්‍රජාතන්ත්‍රවාදයට සහභාගී වීමට නොහැකි විය. එහි ක්‍රියාත්මක වූයේ ද නොනිළ අඥාදායකත්වයකි. රදළ හිමියන්ගේ විධානයකි. රටේ බහුතර ජනතාවක් ග්‍රීකය ගොඩනගන්නට වෙහෙසෙද්දී අයිතිවාසිකම් හිමි ඉතා කුඩා රදළ පිරිසක් ග්‍රීකයේ සශ්‍රීකත්වය භුක්ති විඳි බව නොරහසකි.
ග්‍රීකයේ නිවැරදි ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වූයේ නම් නව අදහස් දැරූ සොක්‍රටීස්ට වස පානයකර මිය යන්නට සිදුවන්නේ නැත. ඉන් ද්වනිත කරන්නේ ග්‍රීක ප්‍රජාතන්ත්‍රවාදයේ බිහිසුණු යථාර්තයයි. ග්‍රීක අක්ෂරමාලාව, ග්‍රීක භාෂාව, ග්‍රීක මූර්ති කලාව, සාහිත්‍ය කලාව, දේශපාලනය, දර්ශනය යනාදිය සියල්ල ම ග්‍රීකය වෙනත් රාජ්‍යයන්ගෙන් සොරකම් කරන ලද වස්තූන් ය. ග්‍රීකයන් සිදුකරන ලද්දේ යුද්ධයෙන් සොරකම් කරන ලද දේ ඔවුන්ගේ නිර්මාණ ලෙසින් උච්ඡස්ථානයට පත් කිරීමයි.
මෙහිදී අපගේ විශේෂ අවධානයක් යොමුකළ යුතු වන්නේ ග්‍රීක දේව මණ්ඩල සංකල්පයටයි. නොදියුණු මානවයා තමන්ට නොපෙනෙන නොදැනෙන ස්වාභාවික ලෝකයකට දේවත්වය ආරෝපණය කිරීම සාමාන්‍ය කරුණකි. මහා ඇලෙක්සන්ඩර් රජුගේ අවසාන කාලයේ ඔහු දෙවියෙකු බව මිනිසුන්ට පෙන්වීමට උත්සාහ දැරුවා පමණක් නොව ජනතාව ද එය විශ්වාස කළේය. පාර්සියානුවන් එය විශ්වාස නොකළේ ය. දියෝනිසස් දෙවියා ද එක්තරා කාලයකදී සුළු ආසියා ප්‍රදේශයේ සිට පැමිණ (ක්‍රි.ව.600) දී පමණ රජුගේ බලකිරීම මත වන්දනයට පොළඹවන ලද්දෙකි. මෙකී කරුණුවලින් තහවුරු වන්නේ ග්‍රීක පාලකයා විසින් ජනතාව ඉතා අමානුෂික අයුරින් මර්දනය කළ බවයි. මෙසේ අසරණභාවයට පත් ජනතාව නොපෙනෙන බලවේගයකට පිහිට පැතීය. ඔවුහු පාලක පක්ෂයේ විමුක්තිය විශ්වාස නොකර දෙවියන් කෙරේ විශ්වාසය තැබීය. අනෙක් පසින් දියෝනිසස් දෙවියා වන්දනයට රජු විසින් ජනතාව මෙහෙයවනු ලැබුවේ නම් ජනතාව වන්දනයට සහභාගී වුයේ ජනතා කැමැත්තෙන් නොවේ. එලෙස දියෝනිසස් වන්දනයට යොදාගත් ඩිතිරැම්භ, 'සොලෝන්' නම් කවියා විසින් ක්‍රමවත් කළ බවද සඳහන් ය. 'සොලොන්' නැමැත්තා ග්‍රීක නීතිය දෘඩ බවට පත්කළ පුද්ගලයා ය. නීතිය දෘඩ බවට පත්කළ තැනැත්තා හා ඩිතිරැම්බ ක්‍රමවත් කළ තැනැත්තා යන දෙදෙනා ම එක් අයෙකු බව මොවුන් ජීවත් වූ කාල නිර්ණයෙන් හෙළි වේ. වෙනත් වචනයකින් ප්‍රකාශ කළ හොත් සොලෝන් පාලක පක්ෂයේ අවශ්‍යතා පූර්ණය කරගනු හැකිවන ආකාරයේ නීති සම්පාදනය කළ පුද්ගලයා ය. පාලකයාට අවශ්‍යයවන ජනතා අවනතභාවය ලබාදුන් පුද්ගලයා ය. මහා දාර්ශනික සොක්‍රටීස් තරුණයන් නොමඟ යවනවාය යන තර්කයේ පිහිටා ග්‍රීක ප්‍රජාතන්ත්‍රවාදය විසින් මරාදමනු ලැබීය. සොක්‍රටීස්ගේ ගෝලයා වූ ප්ලේටෝ පාලකයාට රාජ්‍ය පාලනය පහසු කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කළේ ය.
හැමෝටම කියවන්න SHARE කරමු.
Like ✔️ Share ✔️ Comment Your ideas
Stay with FB 🌐 Youtube 🌐 Instagram 🌐 Blog
Subscribe & Watch More Videos
https://www.youtube.com/user/academiplayers
Facebook | https://www.facebook.com/kelaniyadrama
Instagram | https://instagram.com/kelaniyastagedrama
👇👇වැඩි විස්තර පහලින්👇👇
Blog | http://academicplayers.blogspot.com
"මේ අනුව, නියමාකාරයෙන් පාලනය වන රාජ්‍යයක් තුළට කවියා පිවිස ගැනීමට ඉඩ නොතැබීම සම්පූර්ණයෙන් ම නිවැරදිය. කවියා සිතෙහි තර්ක මාර්ගයේ යටපත් කොට පහත් හැඟීම් ප්‍රකෝප කර ශක්තිමත් කරයි. මෙය රාජ්‍යයක හිතකර ක්ෂේත්‍ර විනාශ කොට එහි බිහිසුණු අංශවලට ශක්තිය සහ දේශපාලන බලය ලබා දීම හා සමාන ක්‍රියාවකි. නාට්‍යකරුවා මිනිස් සන්තාපයේ තර්ක බුද්ධියට ගෝචර නොවන අංශවලට අනුබල දෙමින් එවැනිම තත්ත්වයක් උත්පාදනය කරයි. ඔහු තර්ක බුද්ධියට ගෝචර නොවන මේ කොටස් ප්‍රමාණය හෝ ලොකු කුඩා ගති ගැන වෙනස තේරුම් ගැනීමේ ශක්තියෙන් තොරය. එසේම නාට්‍යකරුවා යථාර්ථයෙන් බොහෝ දුරස්ත චිත්තරූප ජනිත කරයි."
(-සුරවීර, ඒ.වී.)
ප්ලේටෝගේ ගෝලයා වූ ඇරිස්ටෝටල් නාට්‍ය කලාව රාජ්‍යයේ යහපැවත්මට යොදාගත යුතු බව දැක්වීය. සොක්‍රටීස් හැර ඇරිස්ටෝටල් ප්ලේටෝ යන දෙදෙනා ම සේවය කර ඇත්තේ අතළොස්සක් වන පාලක පන්තියේ අවශ්‍යතා වෙනුවෙන් ය. දෙදෙනා ම සේවය කරන ලද්දේ ඇතැන්ස් මාළිගයටයි. එසේ නම් චූල සම්ප්‍රදායක් ව පැවති ග්‍රීක නාට්‍ය, ජාතික කලාවක් බවට පත්කරන ලද්දේ කාගේ අවශ්‍යතාවයක් අනුව ද යන්න පැහැදිලි ය. සොලොන් නැමැත්තා ඩිතිරැම්බ ක්‍රමවත් කළ බව මෙහිදී අමතක නොකළ යුතුය. එසේම රාජ්‍යයේ මැදිහත් වීමෙන් නාට්‍ය උත්සව පවත්වා ජයග්‍රහණය කළ පුද්ගලයාට තෑගි පිරිනමන ලදී. නාට්‍ය නිෂ්පාදනය කිරීම සඳහා මුදල් ආධාර ද රඟහල් ද ඉදිකරනු ලැබීය. මේ අර්ථයෙන් ගත් කළ ග්‍රීක නාට්‍ය මෙතරම් උච්ඡස්ථානයකට වර්ධනය කරනු ලැබුවේ පාලකයාගේ දේශපාලනික අරමුණ වෙනුවෙණි. ජනතාව යටපත්කොගෙන තබා ගැනීමටයි. එය වඩාත් හොඳින් දුටු පුද්ගලයා ඇරිස්ටෝටල් ය. භාව විශෝධනය මගින් යහපත්වන පුද්ගලයා කිසිදු දිනක රාජ්‍යයට එරෙහිව නැගි නොසිටින බව ඔහු පෙන්වා දුන්ණේ ය.
"ට්‍රැජඩි හෙවත් ඛේදාන්ත නාට්‍ය නමින් එතැන් පටන් හැදින්වුණු මෙකී නාට්‍ය ග්‍රීක ජනතාව අතර ප්‍රචලිත වීමට හේතු කාරක වූයේ ක්‍රි.පූ. 6 වැනි සියවසේ ජීවත් වූ පිසිස්ටේ‍රටස් වැනි පාලකයෙකුගෙන් එහි උන්නතිය සඳහා ලද අනුග්‍රහය බව පෙන්වා දිය යුතුය. ට්‍රැජඩි නාට්‍යයේ ඇති ආගමික වැදගත්කමත් ජනතාවට යහපත් ආශ්වාදයක් ලබා දීමේ හැකියාවත් තේරුම්ගත් ඔහු වසරක් තුළ තෙවරක් ඇතැන්ස් නුවර පැවැත්වූ දියෝනිසස් උළෙලට පසු ඛේදාන්ත නාට්‍ය තරඟයක් පැවැත්වීමට කටයුතු යෙදිය."
(-රණවීර, ආරියවංශ.)
මෙම කෘතියේ ම රාජ්‍යය විසින් නාට්‍යය කලාව පාලනය කළ ප්‍රමාණය විග්‍රහ කර ඇත්තේ මෙසේ ය.
"ඉල්ලුම් කරුවන් විසින් මේ සඳහා නාට්‍ය පිටපත් මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන ලදි. විද්වතුන්ගෙන් සැදූ මඩුල්ලක් මඟින් මෙම නාට්‍ය පිටපත් කියවා යහපත් නාට්‍ය පිටපත් තුනක් තෝරා එම නාට්‍ය පිටපත් රචකයන් තිදෙනාට ගායන වෘන්දයක් සපයා දෙන ලද අතර ඒ සඳහා යන වියදම් දැරීම රජය විසින් ධනවත් සත්කාරකයන් තිදෙනකුට පවරන ලදි. මෙම භාරකාරයන් හදුන්වනු ලද්දේ 'කොරේගස්' යන නමිනි."
රාජ්‍යයට විරුද්ධව ලියැවුණු නාට්‍ය පිටපත් වාරණයට ලක්වුණු බව ඉන් පැහැදිලි ය. එසේ නොවන්නේ නම් අත්පිටපත් පරීක්ෂණයට ලක් කිරීමට හේතුව කුමක් ද? ගුණාත්මක අතිපිටපත් තෝරන්නට යැයි ජනතාවාදී අදහසක් ප්‍රකාශ කළ හැකි වුවද රාජ්‍යයට යම් අනතුරක් අවැඩක් සිදුවන නාට්‍ය මෙම මණ්ඩලය හරහා වාරණය කිරීම පහසු විය. ඉන් පසුව ඔවුන් විසින් තෝරනු ලැබූ නාට්‍යයක් ජනතා හරසර මැද වේදිකාගත කෙරිණි. එවිට පාලකයා ජනතාවාදී වන්ණේ ය. එපමණක් නොව නාට්‍ය නැරැඹීමට සියලු දෙනාට ම අවකාශ සලසා දුනි. දුප්පත් ජනතාවගෙන් මුදුල් අය නොකළ අතර ඔවුන්ට නාට්‍ය නැරැඹීමට පහසුකම් සැපැයීය. පෞර රාජ්‍යයේ බහුතරයක් ජනතාව එක් ස්ථානයකට රැස්කර වසරකට තෙවරක් නාට්‍ය නැරැඹීට යොමු කරවීම පාලක අපේක්ෂාව මුදුන් පැමිණ වීමකි. භරත විසින් නාට්‍ය ගෘහය අඩි 36කට සීමා කරන ලද්දේ නළුවා හා ප්‍රේක්ෂකයා අතර ඇතිවන ප්‍රේක්ෂාව තීව්‍ර කිරීමට ය. එහෙත් ග්‍රීක රඟහල එලෙස සීමා වූවක් නොවේ. සංස්කෘත රඟහලේ සිටි කිහිපදෙනාට ම නැරැඹිය හැකි ලෙසින් ආසන තබා තිබුණේ ය. එහෙත් ග්‍රීක රඟහලේ එබන්දක් නොමැති විය. ග්‍රීක රඟහල නිර්මාණ කළ වහලාට ප්‍රේක්ෂක අයිතිය ලැබුණේ නැත. ග්‍රීක පාලකයා ග්‍රීකයට ප්‍රේම කළේ ය. එහෙත් ජනතාවට ප්‍රේම කළේ නැත.
ග්‍රීක නාට්‍ය සඳහා වස්තු විෂය ලෙස තෝරා ගනු ලැබූවේ වර්තමාන කථා පුවත් නොවේ. ක්‍රි.පූ. 1100 සිට ක්‍රි.පූ. 750 දක්වා වූ 'පෙලොපොනෙසිස්' නම් අඳුරු යුගයේ කතා පුවත්ය. රජුගේ අත්තනෝමතික ආඥාදායකත්වය, දෛවයේ ඇති සරදම්, පාලකයා බලය අයතු ලෙස පරිහරණය කිරීම, දේව නීතිය හා රාජ නීතිය යනාදී ඒවා අඩංගු විය. තත්කාලීන සමාජය විවරණය කිරීම සඳහා නාට්‍යකරුවා මෙවැනි පුරා කතාවන් යොදා ගත්තාට සැක නැත. 'කොරෙගස්' නම් වාරණ මණ්ඩලය මෙහිදී අමතක නොකළ හැකිය. පවතින පාලනයට විරුද්ධව වෙනත් අදහසක් දරණ නාට්‍යයක් රචනා කරන්නේ නම් එය නාට්‍ය උළෙල වෙනුවෙන් නිෂ්පාදනය කරන්නට අවසර ලැබෙන්නේ නැත. වාරණ මණ්ඩලයෙන් සූක්ෂම ලෙස ඇතුළු වීම සඳහා නාට්‍ය කරුවන් පුරාකතා යොදාගනු ලැබීය. කිසිදු නාට්‍යයක දුර්දාන්ත පාලකයෙකු නැත. සිටින්නේ පරමාදර්ශයේ ප්‍රථීමූර්තීන් ය. පාලකයා නිවැරදි ය, යහපත්ය. ඔහු ඛේදයට පත්වන්නේ දෛවය විසින් පවරන ලද දඬුවමක් නිසා නොවේනම් ජනතා විප්ලවයකින් නොවේ. ප්‍රවීන ඛේදාන්ත නාට්‍ය රචක ඊස්කිලස් විසින් ග්‍රීක්වරුන් හා පර්සියනවරුන් අතර සලාමිස්වලදී සිදුවුණු යුද්ධය පදනම් කර ගෙන රචිත 'පර්සියන්වරු' නම් නාට්‍ය කාලීන පුවතක් වස්තු කොට ගෙන රචිත එක් ග්‍රීක් ඛේදාන්ත නාට්‍යයෙකි. එහෙත් බොහෝ විට වස්තු විෂය උකහා ගනු ලැබූවේ ග්‍රීක පුරා කතාවන්ගෙන් ය.
වාරණ මණ්ඩලයෙන් අවසර ලබාගත යුතු නිසා පුරාණ කතා නාට්‍ය සඳහා වස්තු විෂය වශයෙන් තෝරාගනු ලැබීය. එහෙත් ග්‍රීක නාට්‍යකරුවා නාට්‍ය කුලීන නාට්‍ය කලාවක් නොකළේ ය. රාජ්‍ය අනුග්‍රහය ලබන අතරතුරම තම ස්වාධීනත්වය, කවි ගුණය ආරක්ෂා කරගන්නට සමත් විය. නාට්‍ය කලාවේ ඇති විභව ගුණය නිසා පාලකයා විසින් සිදු කරනු ලැබූවේ නාට්‍ය කලාව තම දේශපාලනික අරමුණු සදහා යොදා ගැනීමයි. නාට්‍ය කලාව මේසා වර්ධනය වන්නට රාජ්‍ය විසින් ලබාදුන් දායකත්වය ඉවහල් වූ බව සැබෑ කරුණකි. එහෙත් සැබෑ වශයෙන් ග්‍රීක පාලක රදළ සමාජයට අවශ්‍ය වූයේ නාට්‍ය යොදාගෙන ජනතාව පාලනය කිරීමයි.
ග්‍රීක නාට්‍යවලින් පුනුරුච්චාරණය කෙරුණේ ග්‍රීක ආගමයි. දේව සංකල්පය අගය කරන, දෙවියන් වන්දනා කරන ආගමික කලාවක් බිහිකරන්නට අවශ්‍යය වූයේ පාලනයෙහි ඇති දේශපාලනික අවශ්‍යතා මතය. ඊඩිපස් නාට්‍යයේ ද ප්‍රොමිතියස් බන්ධන නාට්‍යයේ ද ඇගමෙම්නොන් නාට්‍යයේ ද දුෂ්ට පුද්ගලයා වන්නේ කතා නායකයා හෝ ජනතාව නොවේ. නොපෙනෙන දෙවි කෙනකි. ග්‍රීකයට පැමිණෙන විනාශයත් ලාබයත් සියල්ල ම දෙවියන් වෙත ඈදා පාලකයා නිහඬව ම පාලන බලය ගෙන ගියේ ය. සමාජයේ යම් ගැටළුවක් තිබේ නම් රටේ ජනතාවගේ අවධානය වෙනත් අරමුණක් වෙත යොමු කරවීමෙන් එකී බිහිසුණු තත්ත්වය සඟවා ගත්තේ ය. ඒ සඳහා නාට්‍ය උළෙලවල් මහෝපකාරී විය. ජනතාව පෙළන, වේදනාවට පත්කරන, දුකට පමුණුවන සියල්ලෙහි ම වගකීම් දරන්නා පාලකයා නොව දෙවියන් වහන්සේ ය. ඇතැන්සයේ උපත ද මරණය ද තීරණය කරන්නේ දෙවියන් විසිණි. එවන් රාජධානියක පුද්ගල අයිතිවාසිකම්වල ඇති අර්ථය කුමක් ද? තමන්ට විඳින්නට සිදුවන පීඩනය පැමිණිලි කරන්නට කෙනකු නැත. ඒ සඳහා දේවත්වය ආරූඪ කරගනු ලැබීය.
ග්‍රීක නාට්‍යකරුවකු වන ඊස්කිලස්ගේ ප්‍රොමිතියස් බන්ධන නම් නාට්‍යයෙන් එවකට ග්‍රීකයේ පැවතුනා වූ පාලන අධිකාරියෙහි බිහිසුණු භාවය, කුමන්ත්‍රණකාරීත්වය මනාව පැහැදිලි කරයි. බලය වෙනුවෙන් පාලකයා කරනු ලබන සැහැසිකම් නාට්‍යකරු ගෙනහැර දක්වන්නේ පුරාකතාවක් උපයුක්ත කරගෙන ය. ප්‍රොමිතියස් විසින් දෙවියන්ට අයිතිව ඇති ගින්න ජනතාවට ගෙනවිත් දෙයි. ජනතාව ඉන් කර්මාන්ත ඇති කර දියුණු තත්ත්වයට පත් වෙයි. ප්‍රොමිතියස් හට ජනතා බලය ලැබී ඔහු පාලන බලය ගනු ඇතැයි සැක සිතා සියුස් විසින සිදු කරන්නේ ප්‍රොමිතියස් ගල් කුලක බැඳ මරණ දඬුවම පැමිණ වීමයි. බලය හා භීෂණය සියුස්ගේ අණ ක්‍රියාත්මක කරමින් සියුස්ට එරෙහි වූ පාලකයා විනාශයට පමුණුවයි. ප්‍රොමිතියස් කළ වෙනයම් වැරැද්දක් නොවේ. ඔහු කළ එකම වැරැද්ද ජනතාවට වඩා යහපත් වූ ලොවක් වෙනුවෙන් ගින්දර දීම ය. ඥානය ප්‍රධානය කිරීම ය. ජනතාව ඥානාන්විත වූ විට පාලකයාට යෙහෙන් වැජඹිය නොහැකිය. පාලකයා අභිමුව රටේ සියලු ස්ත්‍රී සමූහයා ඔහුගේ අන්තඃපුර කාන්තාවන් පමණි. පාලකයාට ඇවැසි විටක ඇවැසි අයුරින් රටේ කාන්තාවන් පාලකයාගේ සිතුම් තෘප්ත කළ යුතුය. එයට යම් කතක් එරෙහිව යන්නේ නම් සිදුවන්නේ විනාශය ම වේ. නාට්‍යකරු ආයෝගේ කතාව ද මෙකී කතාවට ගොනු කරමින් නැවත නැවතත් ප්‍රකාශ කරන්නේ පාලකයාගේ දුර්දාන්ත භාවයයි. නොහික්මුණු ස්වභාවයයි. ප්‍රොමිතියස් අතිශයින්ම දේශපාලනික නාට්‍යයකි. නාට්‍ය අවසන් වන්නේ ප්‍රොමිතියස්ට අනේක වධ බන්ධන පමුණුවමිණි. පාලකයාට එරෙහිව ජනතාව වෙනුවෙන් කටයුතු කළ යහපත් පුද්ගලයෙකුට සියුස් කළ විපත හෙළි කරයි. මෙවන් විපත් ග්‍රීක නාට්‍යකරු ගෙන එන්නට හේතුව වන්නේ එකල පැවති පාලන පැලැන්තියේ ගති ස්වභාවය හෙළි කිරීමට ය.
ඊස්කිලස්ගේ තවත් නාට්‍යයක් වන ඇගමෙම්නොන් නාට්‍යයෙන් ද දුර්දාන්ත පාලකයාගේ ඛේදවාචකය ගෙනහැර දක්වා ඇත. ඇගමෙම්නොන් පාලන බලය ගන්නා විට ඔහුට සුවිශාල බල අධිකාරියක් පැවතුණි. මෙනලොස් නම් සොහොයුරාගේ බිරිඳ වූ හෙලන් දූෂණය කර පැහැරගෙන යාමේ පාපයට ට්‍රෝජයට එරෙහිව දස වරසක් පුරා යුධ කරන්නේ එබැවිණි. ඇගමෙම්නොන් කොතරම් බලයෙන් අන්ධ වූයේ ද යත් තම එකම දියණිය ඉෆිජීනියා යුද්ධය වෙනුවෙන් බිළි කරයි. එපමණක් නොව යුධ ජයග්‍රහණයෙන් අන්ධවූ රජු තම සොහොයුරාගේ බිරිඳව ද දූෂණය කරයි. ට්‍රෝජ නුවරට සිදුකළ විනාශය සූළුපටු එකක් නොවේ. එතැනින් නොනැවැතුණු රජු දෙවියන්ගේ රතු පළසත් කිළිටි කරයි. මේසා ඒකාධිපති පාලකයෙකුට සිදුවන්නේ අවසන බිරිඳගේ අතින් ම දිවි තොරකර ගැනීමට ය. පළිගැනීම්, දූෂණ, කුමන්ත්‍රණ ආදියෙන් පිරීගිය නාට්‍යයක් ලෙස ඇගමෙම්නොන් නාට්‍ය පෙන්වා දිය හැකිය. එකල සමාජය දෙස විමර්ශණශීලිව බැලුව හොත් එකල සමාජයේ පැවතුණු ස්වභාවය එයයි. ලේ පළිය ගැනීම ග්‍රීකයට ආගන්තුක දෙයක් නොවේ. ඊස්කිලස් මෙකී නාට්‍යයෙන් පෙන්වා දෙන්නේ එවන් පාලනයක ඇති අනර්ථකාරිත්වයයි.
ඊස්කිලස් පමණක් නොව ඊට පසුව නාට්‍යකරණයට පිවිසෙන සොෆොක්ලීස් නාට්‍ය මගින් විධාරණය කරන දේශපාලනික සමාජ ධූරාවලියේ ගති ස්වභාවය තව තවත් වර්ධනය කර ඇත. ඇන්ටිගනී නාට්‍යයේ එකිනෙකට ප්‍රතිමුඛ වන්නේ දේව නීතිය හා රාජ්‍ය නීතියයි. ක්‍රියෝන් එරෙහි වන්නේ දේව නීතිය හෙවත් ස්වභාව දහමේ නීතියට යි. ඇන්ටිගනී කැරැළි ගසන්නේ දේව නීතිය වෙනුවෙනි.
හැමෝටම කියවන්න SHARE කරමු.
Like ✔️ Share ✔️ Comment Your ideas
Stay with FB 🌐 Youtube 🌐 Instagram 🌐 Blog
Subscribe & Watch More Videos
https://www.youtube.com/user/academiplayers
Facebook | https://www.facebook.com/kelaniyadrama
Instagram | https://instagram.com/kelaniyastagedrama
👇👇වැඩි විස්තර පහලින්👇👇
Blog | http://academicplayers.blogspot.com
ඊඩිපස් රජ නාට්‍යයේ ඊඩිපස් රජුගේ චරිතය මෙන්ම ඇන්ටිගනී නාට්‍යයේ ක්‍රියෝන් වේදිකාවෙන් බැස යන්නේ විනාශ මුඛය කරා ය. පවිටු අධම පාලකයෙකු අවසන තම ජීවිත අභිලාෂයන් අතහැර පරාජිතයෙකු ලෙසින් පිටවී යන අයුරු ග්‍රීක ප්‍රේක්ෂකයාට පෙන්වීමට හේතුව කුමක්ද? යට සදහන් කරනල ලද නාට්‍යවල දක්නට ලැබුණේ මෙකී ලක්ෂණයි. ග්‍රීක නාට්‍යකරු මනා දේශපාලන සවිඥානිකත්වයෙන් යුක්තව තම කාර්යයේ නියැලුණු බවට එකී නාට්‍ය සාක්ෂි දරයි.
යුද්ධයේ ඇති කුරිරු බව පසක් කරන නිර්මාණක් ලෙසින් ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍ය පෙන්විය හැකිය. ග්‍රීකය නිරන්තරයෙන් යුධ මානසිකත්වයෙන් පිරී තිබූ රටක් බව ඉහත අනාවරණය කෙරිණි. යුරීපීඩිස්ට අවශ්‍යය වූයේ එවන් යුධයක ඇති අමානුෂිකත්වය විවර කරන්නට ය.
ග්‍රීක දේව මණ්ඩලයේ සියල්ලෝ ම සිටිය දී ට්‍රෝජය අලු දුවිලි බවට පත්විය. යුරීපිඩිස් මිය ගොස් වසර කීපයක් යන්නට මත්තෙන් ග්‍රීකයට ද එකී ඉරණමට මුහුණ දෙන්නට විය. එකල ග්‍රීකයේ පැවති යුද්ධ කෝලාහාල, මෙම නාට්‍ය රචනා කරන්නට ප්‍රමුඛතම හේතුවක් වන්නට ඇත. මේ නිසා පැහැදිලි වන්නේ නාට්‍ය, ග්‍රීකයේ ආරම්භ වන්නේත්, වර්ධනය වන්නේත්, දේශපාලනික අවශ්‍යතා අනුව බවයි. ග්‍රීක නාට්‍ය ආරම්භක යුගයේ සිට නාට්‍ය කලාව කලාත්මක වශයෙන් වර්ධනය වන්නේ පාලක පක්ෂයේ ආශීර්වාදය මත නොව, නාට්‍ය කරුවන්ගේ පැවති විශ්වාසය හා ධෛර්යය නිසාය. එබැවින් ග්‍රීක නාට්‍ය කලාව වර්ධනය කිරීම කෙරෙහිලා පාලකයන්ගෙන් සිදු වූයේ පිටුබලයක් නොව මර්දනය කිරීමකි. මෙරට නාට්‍ය කරුවන් ද නිරන්තරයෙන් නගන මැසවිල්ලක් වන්නේ නාට්‍ය කලාව සඳහා පාලකයන්ගෙන් කිසිදු පිටුබලයක් නොලැබෙන බවයි. ලෝකයේ නාට්‍ය කලාව ආරම්භ වූ යුගයේ සිට නාට්‍ය වෙනුවෙන් පාලකයාගේ දායකත්වයක් නොලැබුණි. එහෙත් නාට්‍ය කලාව නොනැසී පැවතුණි. පාලකයන්ගේ දායකත්වය ලැබුණු සෑම විටම බිහි වූයේ වන්දි භට්ට නාට්‍ය කලාවකි. එබැවින් තව දුරටත් පාලකයාගේ ආශිර්වාදය බලාපොරොත්තුවෙන් නාට්‍ය කලාවෙහි නියලෙන්නේ නම් ඉන් වියුක්තව සිතීමට කාලය එළඹ ඇත.

No comments:

Post a Comment

Youtube

Kolam Drama

තවත් ඉතා වැදගත් වීඩියෝ නැරබීමට අප චැනලය Subscribe කරන්න. Click here - https://goo.gl/MmJEXn